May 15, 2026

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවක් ඉවත දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා කියා කියා සිටින්නේ දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවයි.

එම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට තම නීතිඥයන් මූලික විරෝධතා මතු කළත් එම මූලික විරෝධතා මහාධිකරණ විසින් ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරු කියා සිටියි.

මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.