September 29, 2026

බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්ව පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

තමන්ව පක්ෂයේ මහලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් ජයසේකර මීට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබිණි.

ඊට අමතරව, දුමින්ද දිසානායක මහලේකම්වරයා ලෙස කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා සභාපති ධුරය දැරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ දිසා අධිකරණය විසින් ඔහුගේ මුල් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ජයසේකර එම තීරණයට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

ඊයේ(28) දින පැවැති නඩු විභාගයේදී, අභියාචනාධිකරණය ද දුමින්ද දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වා යන දෙදෙනාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 8 වැනිදාට නියම කෙරිණි.