June 1, 2026

සති හයකට පෙර ප්‍රකාශයට පත්කරන ලද සටන් විරාමය නොතකා, ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල හමුදාවලට ලෙබනනය තුළට තවදුරටත් ගමන් කරන ලෙස නියෝග කිරීමත් සමඟ, සඳුදා පෙරවරුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.37 කින් (2.71% කින්) ඉහළ ගොස් ඩොලර් 89.73 ක් ලෙස සටහන් වූ අතර, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.16 කින් (2.37% කින්) ඉහළ ගොස් ඩොලර් 93.28 ක් දක්වා ඉහළ ගියේය.

ඇමෙරිකාව මැදිහත් වී වොෂින්ටනයේදී පැවැත්වූ සාකච්ඡාවලින් පසුව මෙලෙස ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඇමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුම දීර්ඝ කරනු ඇතැයි පැවති බලාපොරොත්තු මඟහැරී ගොස් ඇත.

පසුගිය මාර්තු 2 වනදා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම ගැටුම් ආරම්භ වූ අතර, අප්‍රේල් මැද භාගයේදී සටන් විරාමයකට පැමිණියද දෙපාර්ශ්වයම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගත්හ.

මේ අතර, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් බෝම්බ අතුරා ඇති බවට වාර්තා වීමත් සමඟ තෙල් සැපයුම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් මතුව තිබේ.

ගෝලීය තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදුවන්නේ මෙම මුහුදු මාර්ගය හරහාය.

කෙසේවෙතත්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනයේ කර්මාන්තශාලා ක්‍රියාකාරීත්වය අඩාල වීම හේතුවෙන් එරට ආර්ථික වේගය මන්දගාමී වෙමින් පවතින බව සති අන්ත දත්ත මඟින් පෙන්නුම් කළද, මැදපෙරදිගින් මතුව ඇති තෙල් සැපයුමේ හිඟතාවය පිළිබඳ බිය ඊට වඩා ප්‍රබල ලෙස ලෝක වෙළෙඳපොළට බලපා ඇත.