October 4, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායකට සහ එම කොමිසමට අපහාස සිදු කළ බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (03දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවට සිදුකරන ලද අපහාසයක් ලෙස වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉලක්ක කර අදාළ හිටපු මන්ත්‍රීවරුන් අපහාස කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක වත්මන් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ පුද්ගලයකු ලෙස හඳුන්වා පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සහ ප්‍රධාන මාධ්‍යයේ කතාබහට ලක් කර ඇතැයි ද පුරවැසි බලය සිය පැමිණිල්ලෙන් කියා තිබේ.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, රංග දිසානායක විනිසුරුවරයෙක්ව සිටියදී නීත්‍යනාකූල නොවන ආකාරයට තම දරුවා පාසලකට ඇතුළත් කළේ යැයි චෝදනා කර ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ පුද්ගලයකු වශයෙන් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ප්‍රකාශ කර ඇතැයි ද පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර සිය පැමිණිල්ලෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් පෙන්වා දී තිබේ.