November 6, 2026

හැම් සහ අන්නාසි පිසා සෑදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉතාලියානු සූපවේදියෙකු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආපන ශාලාවකින් ඉවත් කර තිබේ.

තම සංස්කෘතියට එල්ල වන අපහාසයක් ලෙස සලකමින් පිසා මත මෙම පළතුර තැබීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු La Costa ආපන ශාලාවේ සේවය කළ ඩේවිඩ් තැම්බුරෙල්ලා නමැති සූපවේදියෙකු මෙලෙස සේවයෙන් පහ කර ඇත. සේවා ස්ථානයේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා කැඳවූ කළමනාකාරීත්ව රැස්වීමකින් සති දෙකකට පසු, ඔහු මෙසේ සේවයෙන් පහ කර තිබේ.

පෞද්ගලික උත්සවයක් සඳහා අන්නාසි පිසා සෑදීම තැම්බුරෙල්ලා ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට මුල් වූ ප්‍රධාන හේතුවයි. තම සංස්කෘතික උරුමයට හානි වන විට කළමනාකාරීත්වයේ නියෝග පිළිපැදීමට අවශ්‍ය නොවන බව ඔහු එහිදී අවධාරණය කර ඇත.

ඕස්ට්‍රේලියානු සාධාරණ වැඩ කොමිෂන් සභාව වෙත තැම්බුරෙල්ලා විසින් අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව මෙම තත්ත්වය අනාවරණය විය.

ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද කොමිෂන් සභා තීන්දුවට අනුව, ඉතාලියානුවන්ට මෙම කරුණ කෙතරම් වැදගත්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස ඔහු මීට පෙර තම සේවායෝජකයාගෙන් ඉල්ලා තිබූ අතර, පසුගිය වසර හතර තුළ අවස්ථා තුනකදී ඔහු පිසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඕස්ට්‍රේලියාවට අවශ්‍ය වාණිජමය අන්නාසි නිෂ්පාදනයෙන් සියයට සියයක්ම සිදු කෙරෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේදී මෙම මතභේදය ඇති වීම විශේෂත්වයකි.