July 11, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩුවේ ධීවරයන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ යාත්‍රා රාජසන්තක කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ප්‍රධාන ඇමැති එම්. කේ. ස්ටාලින් මධ්‍යම රජය වෙත දැනුම් දී, එම ධීවරයන් සහ බෝට්ටු කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව විසින් ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ ධීවර යාත්‍රා රාජසන්තක කිරීම හේතුවෙන් ප්‍රාන්තයේ ධීවර ප්‍රජාව අතර පීඩාවක් සහ බියක් ඇති කර ඇති බව ස්ටාලින් ඇමැතිවරයා විසින් විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් වෙත ලිපියක් යවමින් කියා ඇත.

බෝට්ටු දෙකකින් මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් ජූලි 09 වැනිදා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සිදුවීම් නිසා ධීවරයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි වේදනාවට හා අවිනිශ්චිතතාවයට ඇද දමා ඇතැයි ද මහ ඇමැතිවරයා සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයන් වහා නිදහස් කර ගැනීමටත්, රාජසන්තක කර ඇති සියලුම ධීවර යාත්‍රා ආපසු භාර දෙන ලෙසටත්, ප්‍රධාන ඇමැතිවරයා විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගනිමින් ඔවුන්ගේ ධීවරයන්ගේ අයිතිවාසිකම් සහ ජීවනෝපායවලට ගරු කරන සුහද යෝජනාවකට රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ළඟා විය හැකි බව ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කර ඇත.

එසේම මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තුව වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.