March 28, 2026

මෙරට සිටියදී අන්තර්ජාල මූල්‍ය වංචා ජාවාරමක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති චීන ජාතිකයන් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් 18 දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලිසිය විසින් ඊයේ (27) සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකින් පරිගණක සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ගණනාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.