May 16, 2023

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ භාරකාර චයිනා හාබර් සමාගමෙන් රුපියල් කෝටි පන්සියයක මුදලක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට අයවිය යුතුව තිබෙන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ ඉකුත් 12 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති එම කමිටුවේදීය.

මෙම මුදල අය කර නොගන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර එම කාර්යාංශ නිලධාරින්ගෙන් ප්‍රශ්න කළද ඊට නිසි පිළිතුරක් ලැබී නැත.

කාර්යාංශයේ ආදායමින් ගෙවා තිබෙන රාජ්‍ය භාරයට අදාළ තොරතුරු ප්‍රතික්ෂේප කර තිබෙන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත්බණ්ඩාර රාජ්‍ය භාරය ගෙවීම සම්බන්ධයෙන් පසුගිය විසි වසරක තොරතුරු සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස කාර්යාංශ සභාපති ආර්. සංජීපන්ට නියෝග කර තිබේ. මෙම ගෙවීම් සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමේදී සභාපතිවරයා කමිටුව නොමග යවා තිබෙන බවට චෝදනා කර ඇති මහාචාර්යවරයා, ‘‘සභාපතිවරයා උතුර දකුණ දන්නෙ නැහැ. සභාපතිටත් මුදල් අධ්‍යක්ෂ තුමියටත් අවවාද කරනවා’’ යැයිද පවසා ඇත.

කමිටුවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලට කාර්යාංශ නිලධාරින් නිසි ලෙස පිළිතුරු නොදීමද කමිටු සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙන අතර ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට පිළිතුරු සූදානම් කර ගන්නා ලෙස දැනුම් දෙනු ලැබ ඇති අතර කාර්යාංශය යළි ජුනි මස 6 වැනිදා කැඳවීමටද තීරණය කර තිබේ.

වැඩ තහනම් කර තිබෙන නිලධාරියෙක් සම්බන්ධ පරීක්ෂණ මාස හයකින් අවසන් කරන බව ඉකුත් 2019 වසරේදී කාර්යාංශය කළ දැනුම් දීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර ප්‍රශ්න කර තිබෙන අතර එහිදී අනාවරණය වී ඇත්තේ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බවය. මෙම පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් වැය වී තිබෙන බවත් එම නිලධාරියාගේ පරීක්ෂණ අවසන් නොකරන්නේ හිතාමතාම බවත් පවසා ඇත.

එමෙන්ම කාර්යාංශයේ ඇතැම් නිලධාරින් පෞද්ගලික අංශයේ උපදේශකයන් වශයෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මෙහිදී චෝදනා කර තිබෙන අතර එවැනි නිලධාරින්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දී තිබේ.

(අරුණ පුවත්පත)