October 25, 2026

චීනයේ චිංහායි පළාතේ ගොලොග් කලාපයේ පිහිටි ටිබෙට් පාසල් තුනක් පසුගිය මාස කිහිපය තුළ වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් එහි අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ අනාගතය අවිනිශ්චිත වී ඇති බව ටිබෙටයෙන් ලැබෙන අභ්‍යන්තර වාර්තා සනාථ කරයි.

මෙසේ වසා දමා ඇත්තේ ගංජොං බාලිකා පාසල, ජාසාග් ගම්මානයේ ප්‍රාථමික පාසල සහ ගොලොග් තාද්‍රා රැකවරණ පාසලයි.

ටිබෙට් භාෂාව, පාරම්පරික සංස්කෘතිය සහ සමාජයීය ජීවිතය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක පැවැත්ම පිළිබඳව ටිබෙට් වැසියන් අතර බරපතළ කනස්සල්ලක් ඇති කිරීමට මෙම පාසල් වසා දැමීම හේතු වී තිබේ.

Radio Free Asia වෙත අදහස් දැක්වූ ටිබෙට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම පාසල් වසා දැමීම චීන රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ 2026 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ “ජාතික එක්සත්භාවය සහ ප්‍රගතිය පිළිබඳ පනත” ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සමඟ සෘජුවම සම්බන්ධ බවයි. මෙම තීරණය හේතුවෙන් ටිබෙට් දරුවන්ට සිය මව්භාෂාව සහ සංස්කෘතික දායාදයන් ඉගෙන ගැනීමට ඇති ඉඩකඩ තවදුරටත් ඇහිරී යන බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, චීන රජය පවසන්නේ ගොලොග් කලාපය පවතින අධික උසින් යුක්ත භූගෝලීය පිහිටීම මෙන්ම ගුරුවරුන්ගේ සහ අධ්‍යාපනික පද්ධතිවල පවතින හිඟතාවයන් හේතුවෙන්, අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මෙම කලාපයෙන් පිටත පාසල් පිහිටුවීමට පියවර ගත් බවයි.

මෙලෙස වසා දමන ලද පාසල් තුනෙහි ඉගෙනුම ලැබූ සිසුන්ට ඉදිරියේදී අධ්‍යාපනය ලැබීමට සිදුවන්නේ කුමන ස්ථානවලද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැත.