October 30, 2023

ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම 14කට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් යන අංශ තුන සඳහා නව සමාගම් 14ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

එමෙන්ම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය, අනෙකුත් ජල විදුලි බලාගාර පවා සමාගම් යටතට පවරනු ඇතැයි ඉංජිනේරුවෝ සඳහන් කර ඇත.

මීට අමතරව විදුලිය බෙදාහැරීමට දැනට පිහිටුවා තිබෙන LECO (ලෙකෝ) සමාගමට අමතරව තවත් සමාගම් හතරක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

එම සමාගම් බොහෝ විට ඉන්දියානු සමාගම් වෙත ලබාදීම සැලසුම වී ඇතැයි ද ඔවුහු කියා සිටිති.

විදුලි සම්ප්‍රේෂණ සඳහා එක් සමාගමක් හෝ තවත් සමාගම් එක්කර ගනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පළකර ඇත.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 22,000ක් පමණ සේවය කරන අතර රට බංකොලොත් වූ පසු ලංවිම සේවකයන් හාරදහසක් පමණ විදේශ රැකියා සඳහා පිටව ගිය බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

විදුලිබල මණ්ඩලය පිහිටුවා ලබන 01 වැනිදාට වසර 54ක් පිරෙන බවත්, මණ්ඩලය කොටස්වලට කඩා විදෙස් සමාගම්වලට විකිණීමට සුදානම් වන බවත්, ඔවුහු සඳහන් කරති.

ඒ අනුව, ලබන 01 වැනිදා ලංවිම සේවකයන් ලෙඩ නිවාඩු දමා කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

ලංවිම විකිණීම, සේවක වැටුප්, දීමනා කපාහැරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වන බව ද වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් කියා සිටියහ.(දිවයින)