October 4, 2025

‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමුකර ඇත.

ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද එකඟතාවක් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග උපුටා දක්වමින් ‘දිවයින’ වාර්තා කරයි.

ශ්‍රී ලංකාව, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියට කෙසේ කටයුතු කරන්නේ ද යන්න ගැන යම් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමට නිර්දේශ ලබාගැනීම මේ යෝජනා කර ඇති කමිටුවේ අපේක්ෂාව බව එම ආරංචිමාර්ගවලින් පැවසේ.

රජයේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශ තුළ ද ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම නිසා පසුගිය දිනවල ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය.

මේ සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කීවේ මේ සම්බන්ධයෙන් දැනට නීතියක් නැති බවයි.