February 12, 2024

මහ බැංකුව යටතේ ඇති බැංකු නොවන මූල්‍ය ආයතන පහකට නව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමන පනතෙත් මුළු ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයම අත්පත් කරදීම හේතුවෙන් අද බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ චෝදනා කරයි.

වසරකට කෝටි 8400ක පමණ ණය මුදල් නිකුත් කෙරෙන ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයෙහි මෙම සමාගම් පහට පමණක් රුපියල් කෝටි 6600කට වැඩි ණය මුදල් නිකුත් කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද ඔහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසා ඇත.

එසේම මේ සමාගම් ආදිවාසී ජනතාව ඇතුළු පිරිසකට ඉංග්‍රීසියෙන් විස්තර ඇතුළත් ගිවිසුම් ලබාදී අත්සන් ලබාගෙන එම ගිවිසුම් ප්‍රකාරව අහිංසක ආදිවාසී හා ගොවි ජනතාවට නඩු පවරමින් ඔවුන්ගේ දේපළ අත්පත් කර ගැනීමට පටන් ගෙන ඇති බවත්, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය මේ ව්‍යවසනයට වගකිව යුතු බවත්, මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ආර්ථික අර්බුදය විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා බොහොමයක් යල්පැන ගිය ඒවා බවත්, එම යෝජනාවලින් අර්බුදය තව තවත් ව්‍යාකූලවන බවත්, ප්‍රකාශකර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් අංශ අකාර්යක්ෂ්මතාවයෙන් පිරි තෝතැනි බව ද ඔහු පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමන පනත රජය සහ ඇමැතිවරුන්ට කරුණු සඟවා සකස් කළ එකක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇති ලක්ෂ 28ක පිරිසෙන් ලක්ෂ 24ක්ම කාන්තාවන් බවත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමන පනත මේ සියලුදෙනා වැඩිකල් නොගොස් පාරට බස්සවන එකක් බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.(ලංකාදීප)