August 28, 2026

2026 වසරේ මුල් මාස අටක කාලය තුළ මෙරට වන අලින් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත අලි මරණ සංඛ්‍යාව 204කි.

මෙලෙස මියගිය අලි අතුරින් 33 දෙනෙකුම වෙඩි තැබීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, විදුලි වැටවල් සහ නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැන්වල ගැටීමෙන් තවත් අලි 26 දෙනෙකු මියගොස් තිබේ.

මීට අමතරව ‘හක්කපටස්’ හේතුවෙන් අලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වස ශරීරගත වීම හේතුවෙන් සිදුවූ අලි මරණ සංඛ්‍යාව 04කි.

එමෙන්ම, මෙම කාලසීමාව තුළ දුම්රිය අනතුරුවලින් අලින් දෙදෙනෙකු සහ මාර්ග අනතුරුවලින් අලින් සිව්දෙනෙකු මියගොස් ඇත. වගා ළිංවලට වැටීමෙන් අලින් 07 දෙනෙකු සහ දියේ ගිලී යාමෙන් තවත් අලින් 07 දෙනෙකු මියගොස් ඇති බව ද වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.