August 28, 2026

1995 වසරේදී ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙස කිරුළු පැළඳි උගන්ඩාවේ ඕයෝ නියිම්බා රජු සිය 34 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව එරට අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් නිවේදනය කළේය.

උගන්ඩාව යනු තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු යටතේ පාලනය වන ජනරජයක් වුවද, එහි යටත් විජිත සමයට පෙර සිට පැවත එන සම්ප්‍රදායික රාජධානි කිහිපයක් තවමත් ක්‍රියාත්මක වේ. මෙම රාජධානීවල දේශපාලනික බලය සංකේතාත්මක මට්ටමකට සීමා වී තිබුණද, ඒවා සතුව විශාල සංස්කෘතික හා සාමාජීය බලපෑමක් පවතී.

අභාවප්‍රාප්ත ඕයෝ නියිම්බා රජු, ඩිමොක්‍රටික් කොංගෝ ජනරජ සීමාවට ආසන්න බටහිර උගන්ඩාවේ පිහිටි කුඩා රාජධානියක් වන ටූරෝ හි රජු ලෙස කටයුතු කළේය.

බ්‍රහස්පතින්දා රාත්‍රී 10:00 ට පමණ රජු අභාවප්‍රාප්ත වූ බව අගමැතිවරයා පැවසූ නමුත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.

1995 සැප්තැම්බර් 12 වන දින සිය පියා වන පැට්‍රික් ඩේවිඩ් මැතිව් කබෝයෝ ඔලිමි III රජුගේ අභාවයෙන් පසු රජු ලෙස කිරුළු පලඳින විට ඔහුගේ වයස අවුරුදු තුනක් පමණි.

රජුගේ අභාවය නිල වශයෙන් නිවේදනය කිරීමට ස්වල්ප වේලාවකට පෙර, ජනාධිපති යොවේරි මුසෙවේනිගේ රජයේ අමාත්‍යවරයෙකු වන බාලම් බාරුගහාරා පැවසුවේ රජතුමා ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

ඔහුගේ හදිසි අභාවයත් සමඟ උගන්ඩාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව සිය ශෝකය පළ කර අතර, එරට ප්‍රධාන ජනමාධ්‍ය මේ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාදී තිබේ.