November 11, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහාධිකරණය මගින් පනවන ලද සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

මෙම අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමේදී විනිසුරුවරුන් අතර මතභේදාත්මක තත්ත්වයක් (බෙදීමක්) හටගැනීම හේතුවෙන්, ඉදිරි පියවර ගැනීම සඳහා එය අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමුකර තිබුණි.

ඒ අනුව, අදාළ අභියාචන පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ තමන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම අභියාචනය විභාගයට ගන්නා බවයි.

අලුතින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ අභියාචනය 2027 ජනවාරි 21 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.

2015 දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන යාම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ පහරදීම ඇතුළු චෝදනාවලට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය කරනු ලැබීය.

එලෙස වරදකාරිය කෙරෙමින් මහාධිකරණය මගින් ඇයට වසර 3 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ දඩයක් නියම කරන ලදී.

තමන්ට එරෙහිව පනවා ඇති අදාළ වරදකරු කිරීමේ තීන්දුව සහ සිරදඬුවම බලරහිත කර, තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.