August 23, 2023

විදුලි අර්බුදය විසඳීම සඳහා මාතර ඒස් පවර් පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, එලෙස මිලදී ගත් මෙගාවොට් 23ක විදුලිය ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ, දකුණු පළාතේ විදුලි සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙස මාතර ඒස් පවර් බලගාරයෙන් එලෙස විදුලිය මිලදී ගත් බවයි.

මීට අමතරව ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ද සාකච්ඡා ආරම්භ කර ඇති බවද විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

මේ අතර සමනලවැව ජලාශයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත්තේ අද (23) දිනයේ පමණක් බව ද විදුලිබල මණ්ඩලය පෙන්වාදෙයි.

මේ වනවිට ජලාශයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණයෙන් ඉතිරිව ඇත්තේ මීටර් දශම 07 ක් පමණකි.

දකුණට විදුලිය සපයන නව පොල්පිටිය – හම්බන්තොට කිලෝවොට් 220 ක අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු හෙට (24) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.