May 19, 2026

මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාව (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වී තිබේ.

තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

මැයි මස 16 සහ 17 යන දිනවලදී උස්බෙකිස්තානයේ දී පැවැති මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම් දෙකම අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක් සහ තරගාවලිය පුරා අපරාජිතව ක්‍රීඩා කිරීමට සමත් විය.

තරගාවලියේ වැඩි අවධානය දිනාගත් පිරිමි අංශයේ තීරණාත්මක අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිස තිබිණි.

එහිදී ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ලකුණු 31-10ක් වැනි දැවැන්ත පරතරයකින් ඉන්දියාව පරාජය කරමින් CASA සෙවන්ස් ප්‍රථම පිරිමි ශූරතාව දිනාගත්තේය.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල කසකස්තාන කණ්ඩායම හමුවේ විශිෂ්ට දක්ෂතා දක්වමින් කසකස්තාන කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමින් (Clean Sheet), ලකුණු 27-0ක් ලෙස පරාජය කරමින් කාන්තා අංශයේ ශුරතාව දිනා ගැනීමට සමත් විය.

දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි.