March 8, 2026

බ්‍රිතාන්‍ය විසින් මැද පෙරදිගට ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් යැවීම සම්බන්ධයෙන් ‘බරපතළ ලෙස සිතමින්’ සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(7) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඉරානය සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට එක්සත් ජනපදයට ඒවා අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කර තිබේ.

ඉරානයට පහර දීම සඳහා එක්සත් ජනපදය මුලින් බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීම ලන්ඩනය විසින් අවහිර කිරීමෙන් පසු දෙරට අතර ඓතිහාසික වශයෙන් පැවති සමීප සම්බන්ධතාව ‘විනාශ කිරීමට’ උදව් කළ බව සඳහන් කරමින් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් නැවත නැවතත් විවේචනය කර තිබිණි.

Truth Social හි සටහනක, ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමඟ ගැටුමේදී බ්‍රිතාන්‍ය සහයෝගය නොමැතිකම තමා ‘මතක තබා ගන්නා’ බවයි.

“අපගේ කලක් ශ්‍රේෂ්ඨ සගයා වූ, සමහර විට සියල්ලෙන් ශ්‍රේෂ්ඨතම වූ එක්සත් රාජධානිය අවසානයේ මැද පෙරදිගට ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් යැවීම පිළිබඳව බැරෑරුම් ලෙස සිතමින් සිටිමි,” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.

“ඒක හරි, අගමැති ස්ටාර්මර්, අපට ඒවා තවදුරටත් අවශ්‍ය නැහැ – නමුත් අපි මතක තබා ගන්නම්. අපි ජයග්‍රහණය කළ පසු යුද්ධයට සම්බන්ධ වන පුද්ගලයන් අපට අවශ්‍ය නැහැ!” යනුවෙන් එහි තවදුරටත් සඳහන් කර තිබිණි.

Prince of Wales ගුවන් යානා ප්‍රවාහන නෞකාව ස්ථානගත කිරීම සඳහා සූදානම් කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම සමාජ මාධ්‍ය සටහන පළ විය.

නමුත් මැද පෙරදිගට ගුවන් යානා ප්‍රවාහන නෞකාව යෙදවිය යුතුද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව බ්‍රිතාන්‍ය නිලධාරියෙක් පවසා තිබේ.

ඉරානයට එල්ල කරන මූලික ප්‍රහාර සඳහා සහාය වීමට එක්සත් ජනපද හමුදාවන්ට බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට ඉඩ නොදීමට ගත් තීරණය ස්ටාර්මර් ආරක්ෂා කර ඇති අතර, ඕනෑම මිලිටරි ක්‍රියාමාර්ගයක් නීත්‍යනුකූල සහ හොඳින් සැලසුම් කර ඇති බවට සෑහීමකට පත්විය යුතු බව ඔහු සඳහන් කර තිබිණි.

පසුව ඔහු ඉරාන මිසයිලවලට එරෙහිව ආරක්ෂක ප්‍රහාර ලෙස එල්ල කිරීමට බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට එක්සත් ජනපද හමුදාවන්ට අවසර ලබා දුන්නේය.

මෙම වසර මුලදී ස්ටාර්මර් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ට්‍රම්ප්ගේ ආශාව ද විවේචනය කර තිබිණි.