July 3, 2026

නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත අබේසිංහ සහ තවත් පුද්ගලයෙකු මෑතකදී අත්අඩංගුවට ගැනීමට අදාළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බව ‘The Island’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාව වැඩිදුරටත් මෙසේය. රුපියල් මිලියන 200ක අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රඛිත, චරිත කුමාර වසන්ත අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුෂහන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ජුනි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. එදිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජූලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

2023 මාර්තු 1 වැනිදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් වික්‍රමරත්න 2023 මාර්තු 14 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. මූලික විමර්ශනවලින් අනතුරුව ඔහුව පැරණි තංගල්ල බන්ධනාගාරයේ රඳවා තැබිණි. ඔහුට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

හරක් කටාගේ නීතිඥ උදුල් ප්‍රේමරත්න, ඔහුව හමුවීමෙන් අනතුරුව ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම ඉල්ලා සිටියේය.

හරක් කටා එකම රැඳවියෙකු ලෙස පසුවන පැරණි තංගල්ල බන්ධනාගාරය සඳහා පොලිස් නිලධාරීන් (ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය) සහ විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 90 දෙනෙකු පමණ යොදවා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජුනි 25 වැනිදා සිය වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් පළ කළ නිවේදනයක දැක්වුණේ, අත්අඩංගුවට ගත් පුද්ගලයන් මුලින් රුපියල් මිලියන 500ක් ඉල්ලා පසුව එය රුපියල් මිලියන 200ක් දක්වා අඩුකර මෙම මුදල ලබාගෙන ඇති බවයි. එලෙස ලැබී ඇති බව කියන රුපියල් මිලියන 120ක මුදල අත්තිකාරමක් ලෙස හඳුන්වා දී ඇත.

තමා රුපියල් මිලියන 120ක් ගෙවූ බවට හරක් කටාගේ බිරිඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශකයන් හරක් කටාගෙන් ප්‍රශ්න කරනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව, රැඳවුම් නියෝග නිකුත් කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යවරයාට පමණි. හරක් කටා කොළඹට රැගෙන එන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහය. නීතිමය ආරංචි මාර්ගවලට අනුව, ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන විට, රැඳවුම් නියෝග නිකුත් කිරීමේ වගකීම ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරේ.

එම වකවානුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ය.

හරක් කටාගේ බිරිඳ මෙතෙක් මෙරටට පැමිණ නොමැති අතර, නීතිඥයන් හැරුණු විට ඔහුගේ දෙමාපියන් සහ සහෝදරයකු පමණක් ඔහුව බැලීමට පැමිණෙන පුද්ගලයන් බව විශ්වාස කෙරේ. විදේශගතව සිටින තම බිරිඳ සමඟ හරක් කටා සන්නිවේදනය කළේ කෙසේද යන්න මෙහි ඇති ප්‍රධානතම ගැටලුවක් බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.