September 2, 2026

යාල ජාතික වනෝද්‍යානයේ 5 වැනි කලාපය තුළ දඩයක්කරුවකු විසින් සිය සගයන් ද සමඟ මහ දවල් කිසිදු බයක් සැකක් නැතිව සිදුකළ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වනජීවි බලධාරීන්ගේ දැඩි නිහඬතාව හමුවේ බරපතළ සැකයක් මතුව තිබේ.

තම අනවසර කටයුතු අවසන් කර කිසිදු බාධාවකින් තොරව ඔවුන් පිටව යන තුරු බලා සිටීමට සිදුවූ බව පවසන මෙම සිදුවීම ඇසින් දුටු පාර්ශ්ව, මේ පිළිබඳව සියලු සාක්ෂි සහිතව එදිනම සවසම අදාළ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද, මේ වන තෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා කරයි.

සාමාන්‍යයෙන් රක්ෂිතය තුළ වාහනයක් පාරෙන් පිටතට ධාවනය කළහොත් සතියක කාලයක් සඳහා එය තහනම් කළ හැකි තරමට දැඩි වනජීවි නීති පවතිද්දී, මෙවැනි බරපතළ සිදුවීමක් හමුවේ බලධාරීන් නිහඬව සිටීම පිටුපස රහසිගත සම්බන්ධතා පවතියිද යන්න ගැටළුවකි.

මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාගේ මුළු පසුබිම සහ ක්‍රියාකලාපය වනජීවි දෙපාර්තමේන්තුවේ පහළ සේවකයන් පවා හොඳින් දැන සිටියද, බලධාරීන් හිතාමතාම ඇස් කන් පියාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කෙරේ.