July 8, 2023

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට 2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිල දී ගැනීමේදී ඇතැම් සතුන් වෙනුවෙන් වටිනාකම් මෙන් 30 ගුණයකට වඩා ගෙවා ඇතැයි අනාවරණය වේ.

ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදල රු.50,000ක් පමණ වුවද මිල දී ගෙන ඇත්තේ රුපියල් මිලියන 1.5කට පමණ (ලක්ෂ 15ක්) බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවිය.

ඒ අනුව ඇස්තමේන්තුගත මුදලට වඩා මිල දී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශ කරයි.

මේ ප්‍රසම්පාදනයේදී ‍සැපයුම්කරු විසින් පක්ෂීන් වර්ග 32ක්ම සැපැයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්ෂීන් මිල දී ගැනීමට සිදු වීම නිසා රුපියල් මිලියන 17කට ආසන්න අලාභයක් සිදු වීම කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය.

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය සදහා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පසුගිය (05) වැනිදා රැස් වූ අවස්ථාවේ මේ කරුණු අනාවරණය විය.

මෙම මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම බරපතල ගැටළුවක් බව කෝපා කමිටුව එහිදී අවධාරණය කර තිබේ.

අදාළ විෂය සහ වෙළඳපොළ සම්බන්ධ අවබෝධය මේ ‍දෙපාර්තමේන්තුව සතු බැවින් ‍තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබදව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසත්, නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා එහිදී නියෝග කර තිබේ.