July 5, 2024

ජනාධිපතිවරණය කල් දැමීම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය කල් දැමුවහොත් එය ජාතියට සෙතක් වනු ඇති බවයි.

“පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වුවහොත් කිසිදු අපේක්ෂකයකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන එකක් නැහැ. එතකොට පක්ෂවලට මනාප එක්කයි වැඩ කිරීමට සිදුවන්නේ,” යැයි ඔහු පැවසීය.

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එවැනි බලයක් මගින් රටේ දැනට පවතින ස්ථාවරත්වය වෙනස් විය හැකි බවයි.

“අපේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි, අයහපත් තත්ත්වයකට රට මුහුණ දිය හැකියි. අපි අපේ ආර්ථිකය කෙමෙන් පණ ගන්වමින් ඉන්නේ. එවැනි අවස්ථාවක නැවත අස්ථාවරභාවයක් ඇති වීම අපේ රටට අහිතකරයි,” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමට හේතුව ලෙස තමා දකින්නේ එය බවයි.

ජනතාවගේ තත්ත්වය, වත්මන් ස්ථාවරත්වය සහ ජාතියේ ආරක්‍ෂාව සැළකිල්ලට ගෙන කටයුතු කිරීම නුවණට හුරු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

“අපිට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැහැ. මම හිතන්නේ මැතිවරණය කල් දැමීම තමයි හොඳම දේ කියලා. දැන් ඒක තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.