October 9, 2026

කොළඹ මාර්ග හතක් ඔස්සේ ධාවනය වන අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ සඳහා පෞද්ගලික බස් රථ රියදුරන් විසින් හිතාමතාම අනතුරු සිදු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් පිළිබඳ සැකයක් මතු කරමින්, පෞද්ගලික බස් රථ, මෙට්‍රෝ’බස් රථවල ගැටීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර පැවසීය.

මහරගම පොලිස් ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශය අසල, රාජගිරිය, මාකුඹුර, කැස්බෑව, බොරැල්ල සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවලින් මෙවැනි සිද්ධි වාර්තා වී ඇති බවයි.

මිලේනියම් සිටි සහ රාජගිරිය ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ සිද්ධිවලට සම්බන්ධ පෞද්ගලික බස් රථ රියදුරෙකු සතුව මගී ප්‍රවාහන බලපත්‍රයක් නොතිබූ බව ද ඔහු පැවසීය.

මාකුඹුර ප්‍රදේශයේ සිදු වූ තවත් සිදුවීමකදී, පෞද්ගලික බස් රථ රියදුරු මත්පැන් පානය කර වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ බවට චෝදනා එල්ල විය.

ඇතැම් පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් මගීන් රැගෙන යාම සඳහා මෙට්‍රෝ බස් රථ නැවැත්වීම වළක්වන බවට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා චෝදනා කළේය.

මෙම සිදුවීම් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධ සංවිධානාත්මක ව්‍යාපාරයක කොටසක් ද යන්න තීරණය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

හිතාමතාම මෙට්‍රෝ බස්රථවලට හානි කරන බවට අනාවරණය වන පුද්ගලයින්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, වලංගු බලපත්‍ර නොමැතිව ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය අනතුරු ඇඟවීය.

කොළඹ පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සහ රථවාහන තදබදය අඩු කිරීම සඳහා මෙට්‍රෝ බස් සේවාව හඳුන්වා දී තිබේ.