June 28, 2023

කෑගල්ල, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන බතලේගල පර්වතයේ සුන්දරත්වයට හානි කරමින් සිදු කරන චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට දැනුම්දී ඇත.

මෙම පර්වතය වටා අක්කර 150 ක පමණ රක්ෂිතයක් පිහිටා තිබෙන අතර එය අයත් වන්නේ වෙනත් රජයේ කැලෑ යටතටය. මෙම කැලෑවෙන් යම් ඉඩම් ප්‍රමාණයක් විදෙස්ගතව සිටින භික්ෂූන් වහන්සේ නමකට පවරාදී ඇති බවත් ඊට සන්නස් පත්‍රයක් තිබෙන බවත් පැවසේ. බතලේගල පර්වතයට ඉහත කී භික්ෂූන් වහන්සේ ඇතුළු තවත් පාර්ශ්ව කීපයක්ම හිමිකම් කියන බවත් පැවසේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේම බතලේගල පර්වතයේ දැවැන්ත දාගැබක් මේ දිනවල ඉදිකරන්නේ යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශයේ යෞවන සමාජයක කණ්ඩායමක් එකතුවී බව කියයි. ඒ කිසිදු රජයේ පාර්ශ්වයක අවසරයකින් තොරවය. විදෙස්ගතව සිටින භික්ෂූන් වහන්සේ මෙම දාගැබ ඉදිකිරීම සඳහා මුදල් ලබාදෙන බව ද පැවසේ.

පර්වතය මුදුනේ ගල් බෝර දමා වළවල් සකසා කොන්ක්‍රීට් කණු පවා මේ වෙද්දී ඉදිකර ඇත්තේ පර්වතය මුදුනේ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි කරමිනි. අරණායක වැඩ බලන ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර පවසන්නේ මෙම පර්වතයේ දාගැබ ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ අවසරයකින් තොරව බවය.

අදාළ ඉදිකිරීම නැවැත්වීම සඳහා එන්තරවාසියක් යැවීමට කටයුතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කරයි.

මෙම ඉදිකිරීම සම්බන්ධව කිසිදු පියවරක් සිය අධිකාරියට ගත නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. බතලේගල පර්වතය සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරියත් ඊට විරුද්ධව පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකියාවක් නොමැති බව එම අධිකාරිය පෙන්වාදෙයි.

(අරුණ පුවත්පත)