June 29, 2023

කැබිනට් මණ්ඩලය විසින් ඊයේ(28) සම්මත කරගත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අනුව මෙරට බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් එල්ල නොවන බව වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඔස්සේ විශ්‍රාම වැටුප් අරමුදල්වලට යම් බලපෑමක් එල්ලවන නමුත්, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ගෙවන ප්‍රතිලාභ සියයට 09ට වඩා අඩු නොවන බවට මහ බැංකු නිලධාරීන් සහතික වී ඇති බව පැවැසේ.

එසේම විශ්‍රාම වැටුප් අරමුදල් ඇතුළු සියලුම බැඳුම්කරවල සැබෑ වටිනාකම ඉහළ නැංවීමෙන් එක්සත් ජනපද ඩොලරයට 360 සිට 310 දක්වා රුපියල අගය කිරීමටද මෙම වැඩසටහ ඔස්සේ තීරණය කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙම ණය සැලැස්ම සළකා බැලීමට නියමිතය. මෙම ණය උපායමාර්ගය සති අන්තයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇත.

මේ අතර පොළී අනුපාත දැන් පහත වැටෙමින් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යන බවට ලබාදුන් සහතිකය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය පිළිබඳව අධිපතිවරයා විසින් සපයන ලද පැහැදිලි කිරීම් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) සාදරයෙන් පිළිගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් SLBA සඳහන් කර ඇත්තේ ආචාර්ය වීරසිංහගේ ප්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් කරුණු ආවරණය කර ඇති අතර, ඉදිරි දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) හෝ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බවට නිශ්චිත සහතිකයක් ඇතුළත් කර ඇති බවයි.