September 26, 2026

බංග්ලාදේශයේ දකුණු කෙරානිගන්ජ් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සෑදීමට ගන්නා උපකරණ සහ කඩදාසි මුහුණු ආවරණ 9,000ක් සොයාගැනීමට බංග්ලාදේශ පොලිසිය සමත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් 30 හැවිරිදි සහීඩ් හසන් එමොන් නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඩකා ට්‍රිබියුන් පුවත්පත උපුටා දක්වමින් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, සැප්තැම්බර් 19 වන දින ජාත්රාබාරී පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ දේශීය බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ පරීක්ෂණ අතරතුර මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

එම පරීක්ෂණ අතරතුර ලත් තොරතුරකට අනුව අදාළ පිපිරීමට එමොන් නමැත්තාගේ සම්බන්ධයක් ඇති බවට හඳුනාගැනීමෙන් පසුව බාගපූර් ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දේශීය බෝම්බ ඇසුරුම් කිරීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන මාබල් කිලෝග්‍රෑම් 5ක්, අඟල ප්‍රමාණයේ කටුකම්බි ඇණ කිලෝග්‍රෑම් 2ක්, රතු පැහැති සෙලෝටේප් රෝල් 20ක් සහ කළු පැහැති සෙලෝටේප් රෝල් 11ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මීට අමතරව පෙට්ටි තුනක අසුරන ලද කඩදාසි මුහුණු ආවරණ 9,000ක්, මුහුණු ආවරණ පැළඳීමට ගන්නා ඉලාස්ටික් පැකට් 30ක් සහ බෝම්බ සෑදීමට ගන්නා ද්‍රව්‍ය කුඩු කිරීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන බ්ලෙන්ඩරයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැප්තැම්බර් 19 වන දින සිදුවූ පිපිරීම සහ අත්අඩංගුවට ගත් සැකකරුගේ සම්බන්ධතාවය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.