July 25, 2023

ක්ෂණිකව කපා වලදමා ඇති බව කියන දාරළුවේ පඬුකරඳ (කෲඩියා සෙලනිකා) ගස ජුලි 28වැනිදා ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ(24) නියෝග කර තිබේ.ඒ ගම්පහ දිසා වන නිලධාරීවරයාටයි

එම ගස ගොඩ ගන්නාතුරු එය වලදමා ඇති ප්‍රදේශයට යොදා ඇති පොලිස් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙසට බෙම්මුල්ල පොලීසියට දැනුම් දෙන ලෙසද මෙහිදී නියෝග කෙරිණි.

ඊයේ පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේ සිද්ධියට එරෙහිව පෙනීසිටින පාර්ශවයන්ගේ නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් අඩවි වන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩිව විවේචනය කර ඇත.

එහෙත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති ඉංජිනේරු අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ගස ඉවත් කර තිබෙන බව සහ ඒ තත්ත්වය යටතේ ගස ගොඩගැනීමට අනවශ්‍ය බව කියා ඇත.

මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන් දිගින් දිගටම මෙය අපරාධයක් වන හෙයින් ඉදිරි පරීක්ෂණ සඳහා ගස ගොඩගත යුතු බවට කරුණු දැක්වීම හේතුවෙන් නඩුව පසුවට කල් තැබීය.

නඩුව නැවත පස්වරුවේ කැඳවූ අතර, දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව මෙය පරීක්ෂණ කටයුතු සඳහා ගොඩගැනීමට අවශ්‍යය සහාය ලබාදිය හැකි දැයි මහේස්ත්‍රාත්වරිය වන නිලධාරියාගෙන් ගෙන් ප්‍රශ්න කර තිබේ

ගො ගැනීමට අවශ්‍යය සහාය ලබා දිය හැකි වුවත්, ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීම සඳහා එම ගස ගොඩගැනීමකින් තොරව ගස වලදමා ඇති ස්ථානයේම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තබාගැනීමට හැකියාව ඇති බව ඔහු එහිදී සඳහන් කර ඇත.

එහිදී අගතියට පත් පාර්ශවයේ නීතීඥවරයකු පවසා ඇත්තේ ගස හොරෙන් කැපූ පුද්ගලයන්ටම ආරක්ෂාව භාරදීමට යෝජනා කිරීම විහිළු සහගත ප්‍රකාශයක් බවයි.

දීර්ඝ කරුණු දැක්වීම් වලින් අනතුරුව මේ මස 28වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ එම ගස ගොඩගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර ඇත.

එම අවස්ථාවට සහභාගිවන ලෙසට දන්වා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකවරයාට හා රාජ්‍යය දැව සංස්ථාවට නොතීසි යැවීමට ද නියෝග කර තිබේ.