March 14, 2026

පිළිගත් දේශපාලන පක්ෂයක් වන අභිනව නිදහස් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සම්බන්ධයෙන් අමිත් වීරසිංහට එරෙහිව කලින් නිකුත් කරන ලද වාරණ නියෝගය කැස්බෑව දිස්ත්‍රික් අධිකරණය විසින් දීර්ඝ කර තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විධායක කමිටු රැස්වීම් කැඳවීම වැළැක්වීම සහ අමිත් වීරසිංහ පක්ෂයේ නායකයා ලෙස පෙනී සිටීම හෝ ඒ සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යැවීම තහනම් කිරීම සඳහා පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් මෙම නඩුව පවරා තිබිණි.

නඩුව ඊයේ(13) විභාගයට ගත් අවස්ථාවේ අමිත් වීරසිංහ සහ තවත් විත්තිකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර නීතිඥවරු ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූහ.

අධිකරණය විසින් කලින් නිකුත් කරන ලද වාරණ නියෝග දීර්ඝ කිරීමට එරෙහිව ඔවුන් කරුණු ඉදිරිපත් කරන ලදී.

කෙසේවෙතත්, අධිකරණය එම නියෝග අවලංගු කිරීම ප්‍රතික්ෂේප කළ අතර වාරණය 2026 මාර්තු 27 වැනිදා දක්වා දීර්ඝ කරන ලදී.

නීතිඥ සදුනි පූර්ණිමා රත්නායකගේ උපදෙස් පරිදි, පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නවීන් මහා ආරච්චිගේ සහ කෙත්මිණි හසාරා පෙනී සිටියහ.