March 27, 2026

රැප් ගායකයකුව සිට දේශපාලනඥයකු වූ බාලේන්ද්‍ර ෂා නේපාලයේ අගමැති ධුරයේ අද දිවුරුම් දුන්නේය.

බිඳෙනසුලු ආණ්ඩු සහ දුර්වල වර්ධන අපේක්ෂාවන් නිසා දිගු කලක් ගැටලුවලට මුහුණදුන් නේපාලයේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ රැකියා නිර්මාණය කිරීමේ වගකීම ඒ අනුව ඔහුට පැවරී තිබේ.

මාර්තු 5 වැනිදා පැවති මැතිවරණයෙන් ඔහුගේ අවුරුදු තුනක් පමණක් පැරණි රාස්ත්‍රීය ස්වාධීන පක්ෂය මන්ත්‍රීවරුන් 275 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 182ක් දිනා ගැනීමෙන් පසු ෂා අගමැති ධුරයට පත්විය.

අගනුවර හිටපු නගරාධිපතිවරයකු වන 35 හැවිරිදි ෂා, දශක ගණනාවකට පසු නේපාලයේ බිහි වූ ළාබාලතම අගමැතිවරයා වේ.

එසේම ආසියානු යෝධයන් වන ඉන්දියාව සහ චීනය අතර බැඳී ඇති නේපාලයට නායකත්වය දෙන පළමු මධේසි ජන නියෝජිතයා ද වේ.

ෂා, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දීම සිදු කළේය.

“නව රජයේ පළමු පරීක්ෂණය පවතින්නේ ඉරිදා සිටම යහපාලනයේ මුල් සලකුණු අපේක්ෂා කරන ජනතාවට විනිවිද පෙනෙන සහ කඩිනම් සේවාවන් සැපයීම තුළයි,” යනුවෙන් දේශපාලන විශ්ලේෂක පුරන්ජන් ආචාර්යා පැවසීය.

ඉරිදා යනු නේපාලයේ වැඩ කරන දිනයකි.

නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය මාරාන්තික වී ඇති අතර, 1990 සිට ආණ්ඩු 32ක් බලයට පත් වී තිබේ.

ඉන් එකක්වත් වසර පහක කාලයක් සම්පූර්ණ කර නොමැත.

රටේ පැරණිතම පක්ෂය වන නේපාල කොංග්‍රස් පක්ෂය, ආසන 38ක් පමණක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවේ දෙවැනි කණ්ඩායම බවට පත්විය.