June 26, 2026

පාතාල කල්ලි නායක “හරක් කටා” සමඟ සබඳතා පවත්වමින් රුපියල් මිලියන 120ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සහ ඔහුව ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ‘බහුජන බලය’ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානයේ විධායක සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා, දැනට ක්‍රියාත්මක විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් සංවිධානයේ ව්‍යවස්ථාව, සදාචාරය සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

මෙම පියවර සංවිධානයේ කීර්තිනාමය, විශ්වාසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් පරිපාලනමය ක්‍රියාමාර්ගයක් පමණක් වන අතර, ඉන් ඔහු වැරදිකරුවෙකු බවට පූර්ව නිගමනයකට එළඹී නොමැති බවද එම නිවේදනයේ අවධාරණය කර ඇත.

යහපාලනය, විනිවිදභාවය සහ වගවීම වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවත්, දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක පසුවන බවත් පවසන බහුජන බලය සංවිධානය, දේශපාලනය යනු පුද්ගල ප්‍රතිරූප ආරක්ෂා කිරීමක් නොව මහජන විශ්වාසය රැකීමක් බව පෙන්වා දෙයි.

එමෙන්ම, නායකත්වය යනු වගකීම, අවංකභාවය, විනිවිදභාවය සහ නීතියට ගරු කිරීම මත ගොඩනැගෙන්නක් බවත්, මෙම තීරණය තරුණ දේශපාලන නායකයින්ට කදිම ආදර්ශයක් වනු ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

මෙම සාමාජිකත්වය අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුවන අතර, ඉදිරි අධිකරණ තීන්දුව සහ නීතිමය වර්ධනයන් මත පදනම්ව ඉදිරි පියවර සමාලෝචනය කිරීමට විධායක සභාව කටයුතු කරනු ඇත.