May 29, 2023

රට පුරා පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල (ස්පා) තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරනු ලබන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසයි.

දේශීය වෛද්‍ය ක්‍රමය විදේශයන් වෙත රැගෙන යෑමේ අරමුණින්, ආරම්භ කළ ‘සුගා ආයුර්වේද රෝහල’ බොරලැස්ගමුවේදී පසුගිය 27 වැනිද විවෘත කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා, ආයුර්වේද සංස්ථාව මූලික කරගනිමින් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන ගොඩනැගීමේ වැඩසටහනකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවද ඇමැතිවරයා එහිදී අනාවරණය කළේය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවැසීය.

‘‘මේ සම්බාහන මධ්‍යස්ථානවලට එක පාරටම බලපෑම් කරන්න බැහැ. ඒවට සැබෑ ප්‍රතිකර්ම සඳහා ආකෘතියක් අපි හදන්න ඕනෙ. ඒ වෙනුවෙන් වූ ආකෘතියක් මේ වෙනකොට අපි හදලා තියෙනවා. අපේ රටේ වැවෙන නිස්සාරණ ශාකසාර නිෂ්පාදන වගා කරන්නත්, අපනයනය කරන්නත් ආයුර්වේද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා. ඒක අපේ රටට විශාල ජයග්‍රහණක්. අපේ රටට සුවිශාල විදේශ විනිමයක් උත්පාදනය කරන්න ඒක හේතු වෙනවා කියලා අපිට පේනවා. අපිට දේශීය ඖෂධ වර්ග වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලබා දෙන්න කියලා අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ තුළින් අපේ ආනයනික ඖෂධ පිළිබඳ ප්‍රශ්නය විසඳගන්න ඕනෑ. ඉන්පසු අපනයන වෙළෙඳපොළ විවෘත කරගන්න ඕනෙ’’