August 8, 2026

දශක ගණනාවක් පුරා පැවැති බිම්බෝම්බ සහ යුද විපතින් ඉතිරි වූ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියේ අවසන් අදියරට ශ්‍රී ලංකාව පැමිණ සිටින මොහොතක, සම්මානනීය බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී සහ Mines Advisory Group (MAG) හී තානාපතිනි රොසමොන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

ආරම්භයේදී හඳුනාගත් බිම්බෝම්බ සහිත සමස්ත භූමි ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක්, එනම් වර්ග කිලෝමීටර 20.8 ක් පමණක් දැනට සුද්ධ පවිත්‍ර කිරීමට ඉතිරිව ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටා ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට බිම්බෝම්බ මිලියනයකට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය මිලියන එකකට වඩා ඉවත් කිරීමට සමත්ව ඇත.

බිම්බෝම්බවලින් නිදහස් කළ භූමි ප්‍රදේශවල මේ වන විට ආසන්න වශයෙන් ජනතාව ලක්ෂ 10 ක් (මිලියනයක්) පදිංචි වී සිටිති.

2002 වසරේදී බිම්බෝම්බ අනතුරු 252 ක් වාර්තා වූ අතර, බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ පාසල් හා ගම්මාන මට්ටමින් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන් නිසා 2024 වන විට එම සංඛ්‍යාව 02 දක්වා කැපීපෙනෙන ලෙස පහත වැටී ඇත.

මේ දක්වා බිම්බෝම්බ ඉවත් කර නිදහස් කරන ලද ඉඩම්වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් අධික අවදානම් සහිත ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබූ ඉඩම් වේ.

මෙම සංචාරයේදී රොසමන්ඩ් පයික් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කරන භූමීන් වෙත ගොස්, එම සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් මෙන්ම බිම්බෝම්බ හේතුවෙන් පීඩාවට පත් වූ පවුල්වල සාමාජිකයින් ද හමුවීමට නියමිතය. ඊට අමතරව පාසලක පැවැත්වෙන අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට ද ඇය එක්වෙයි.

තවද, ඇය මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා සහ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුවීමටද නියමිතය.

“ශ්‍රී ලංකාවේ MAG සංවිධානයේ මෙහෙයුම් දෙස බලන විට, මෙවැනි මානුෂීය ඛේදනීය තත්ත්වයන්ගේ අවසානය ඉතා ආසන්නයේම පවතින බව මට විශ්වාසයි.” යැයි රොසමන්ඩ් පයික් සඳහන් කරයි.