September 29, 2026

ජනමතවිචාරණයකින් තොරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එරෙහිව සිය මතයේ තවදුරටත් සිටිමින්ම, පාලක ජාතික ජන බලවේගය සමග රැඳීසිටින බව එහි විධායක සභික නීතිඥ ලාල් විජේනායක පවසා ඇත.

The Island පුවත්පතට අදහස් දක්වමින් ලාල් විජේනායක සඳහන් කර ඇත්තේ, අදාළ සංශෝධනය සම්බන්ධයෙන් තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැති බවත්, එහි ඇති බලපෑම පිළිබඳව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගන්නා ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දක්වන බවත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කරමින් ජාතික ජන බලවේගය තුළ තවදුරටත් රැඳී සිටින්නේ කෙසේදැයි නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලාල් විජේනායක අනාවරණය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කළ බවයි. එම සාකච්ඡාවේ තොරතුරු හෙළිදරව් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළද, පක්ෂය තුළ සිය තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුනොවන බව පෙන්වාදී ඇත.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය මතය එසේම පැවතියද, ජාතික ජන බලවේගයේ විධායක සභාවේ තවදුරටත් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව පවසා ඇති ලාල් විජේනායක, මෙම කරුණ පදනම් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය මෙහෙයවන විරෝධතාවලට එක්වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට යොමුකළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ පිරිස අතර ජාතික ජන බලවේගයේ ලාල් විජේනායකද විය.