February 16, 2026

නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහයෝගීතාව පළකර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රජිව් අමරසූරිය පවසා ඇත්තේ, ඊයේ පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමේදී ගත් තීරණයට සමගාමීව නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය සිය තීරණය ගෙන ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ රජිව් අමරසූරිය තබා ඇති සටහනයි.

‘අද පැවති හදිසි විධායක කමිටු රැස්වීමකදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී සම්මත කරගත් යෝජනාවට අනුව, 2026 පෙබරවාරි 16 වැනි සඳුදා සියලුම නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් වැළකී සිටීමට ගත් තීරණයට සහයෝගීව සිටීමට නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය තීරණය කළේය.

එම උත්තරීතර තීරණය ගරු නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, එම නීතිඥ සංගමයේ යෝජනාව සැලකිල්ලට ගනිමින්, හෙට දින අධිකරණයට පැමිණෙන නිලධාරීන් ඉල්ලා සිටින ඕනෑම කල්දැමීමකට විරෝධය දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ඔහු දන්වා ඇත.
ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ අනුව දැඩි ලෙස අනුකූලව කටයුතු කරන ලෙස සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.’