June 27, 2026

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන දැරියගේ මවට එරෙහි නඩුව එළඹෙන අගෝස්තු මස 21 වන දින යළි කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඊයේ (ජුනි 26) නියෝග කළේය.

සිද්ධියට අදාළ පොලිස් විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා වෙනුවෙන් පළමුවරට පෙනීසිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ මෙහිදී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය පැහැදිලි කළ නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, සිද්ධියට අදාළ මුල් DNA පරීක්ෂණ වාර්තාව සහ සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා දැනටමත් අධිකරණයට භාරදී ඇති බවත්, දෙවැනි DNA වාර්තාව ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

සැකකාර හිමිනම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නඩුව තවමත් විමර්ශන මට්ටමේ පවතින බැවින් පොලිසිය කළ කාලය ඉල්ලීමේ ප්‍රකාශයට එකඟතාව පළකළේය.

පරිවාස නිලධාරිනිය අධිකරණයට දැනුම්දුන්නේ වින්දිත දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමුකරමින්, පරිවාස දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ඉතා ආරක්ෂිතව රඳවා සිටින බවයි. එහිදී දැරිය සිටින ස්ථානය හෙළිනොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරිනියට නියෝග කළේය.

ඉදිරි විමර්ශන සඳහා නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එදිනට ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, සැකකාර හිමිනමට සහ දැරියගේ මවට එදින අධිකරණයේ පෙනීසිටින ලෙසත් නියෝග කළේය.

සැකකාර හිමිනමට එරෙහිව ස්ත්‍රී දූෂණය සහ බරපතළ ලිංගික අපයෝජන චෝදනා ද, දැරියගේ මවට එරෙහිව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා ද පොලිසිය විසින් ගොනුකර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව සහ අනුරාධපුර පොලිස් නිලධාරීන් සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ද, විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු ඇතුළු නීතීඥ මණ්ඩලයක් ද පෙනීසිටියහ.

මෙම නඩු විභාගය නැරඹීම සඳහා අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් ඇතුළු ප්‍රමුඛ පෙළේ මහා සංඝරත්නය මෙන්ම ඇප මත සිටින ජය ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවාද අධිකරණයට පැමිණ සිටියහ.