March 28, 2026

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න වැඩ තහනම් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනීනොසිටියේය.

ඒ අනුව කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් අභියාචනාධිකරණය හමුවේ පෙනීසිටියේය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේද නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුණි අධිකරණයට දැනුම්දුන්නේ මෙම නඩුකරය සමථයට පත්කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවයි.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.(ලංකාදීප)