May 21, 2023

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රඳවාගෙන සිටි චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත්වී ඇත.

අදාළ චීන ජාතික මගියා සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු, තවත් චීන ජාතිකයකු සහ ඊජිප්තු ජාතිකයකු බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. එහිදී එම පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සතුව සිටි චීන ජාතිකයා පිටුවහල් කිරීමට රඳවාගෙන සිටි නමුත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත නිදහස් කර තිබේ.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහිත චීන ජාතිකයා සහ තවත් දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා (18) ඩුබායි සිට පැමිණ ඇති බවත්, චීන ජාතිකයා ගිනියා රජය විසින් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත්, එය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම චීන ජාතික ගුවන් මගියාට මෙරටට ඇතුළු වීමට අවසර දෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති රාජ්‍ය ඇමතිවරයා ඔහු විදේශ ආයෝජකයකු බව පෙන්වා දී තිබේ.

තම අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා මුදල් ආයෝජනය කිරීම මෙම චීන මගියාගේ සංචාරයේ අරමුණ බව රාජ්‍ය ඇමතිවරයා පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය වෙත යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

ආගමන විගමන නිලධාරීන් පවසන්නේ, චීන සහ ඊජිප්තු ජාතිකයන් දෙදෙනා සෙනසුරාදා (20) උදෑසන නිදහස් කළ බව ය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රවලින් පවා විදේශ ආයෝජකයන්ට මෙරටට පැමිණීමට අවසර දීම ගැන නිලධාරීහු විමතිය පළ කරති.

(dailymirror)