November 19, 2026

ආරක්ෂිත වන සත්ත්ව විශේෂයක් වන කබල්ලෑවෙකුට පහර දී මරා දමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් පසු, ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු පොලිසිය විසින් අනාවරණය කර තිබේ.

ඊයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමඟ මීගස්වැව පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය.

මෙම සිදුවීම මීට වසරකට පමණ පෙර මීගස්වැව පොලිස් වසමේ මීගොල්ලෑව ප්‍රදේශයේදී සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

වයස අවුරුදු 56, 34 සහ 74 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් තිදෙනාම කෘෂිකාර්මික කටයුතුවල නිරත වන පුද්ගලයින් බව පොලිසිය පවසයි.

මෙම සත්වයා ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන පොරවක් සහ අලවංගුවක්, මියගිය කබල්ලෑවාගේ කොරපොතු සහිත ශරීර කොටස් මෙන්ම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.