November 19, 2026

රත්නපුර ප්‍රදේශයේ මැණික් පතලක කැණීම් කරමින් සිටියදී හමුවූ මැණික් ගලක් රහසිගතව ගිල දැමූ බව කියන පුද්ගලයෙකු, එය උගුරේ සිරවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ, අදාළ මැණික් ගල ඉවත් කිරීම සඳහා ඔහුව වැලිසර රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව මහනුවර ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තමන් විසින්ම මැණික් ගල පිටතට ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු, මෙම පුද්ගලයා රහසිගතව මහනුවර ප්‍රදේශයට පැමිණ ඇත. වෛද්‍යවරුන් ලවා උගුරේ සිරවී ඇති මැණික් ගල ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් වී තිබේ.

කෙසේ වෙතත්, පසුව මේ පිළිබඳව රෝහල් පොලිසියට වාර්තා වී ඇත.

රෝහල් පොලිස් නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී, ඔහු රත්නපුර මැණික් පතලේ සේවය කරමින් සිටියදී මැණික් ගල ගිල දැමූ ආකාරය ඇතුළු සිද්ධියට අදාළ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.