November 20, 2026

බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට මහාධිකරණය භමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකාර චීවරධාරියකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතානගේ ඔහුට වසර 8ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 3ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට ද අමතරව මුදලින් රුපියල් 1,500ක දඩයක් ගෙවන ලෙසට ද නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ සූරියවැව වෙනිවැල්ආර අංක 108 ලිපිනයේ සූරියවැව සුමනධම්ම නමැති චීවරධාරියකුටය.

2021 වසරේ අප්‍රේල් 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් තඹුත්තේගමදී විත්තිකරු මෙම වරද කළ බවට නීතිපතිවරයා මෙම ඔහුට එරෙහිව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ යුරේකා පෙරේරා පෙනීසිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ වෙනුර ධර්මසේන පෙනීසිටියේය.

තඹුත්තේගම පොලීසිය මේ සම්බන්ධව විමර්ශන මෙහෙයවා තිබිණි.