August 24, 2023

නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි ආයතන සියල්ලම ඍජුව හෝ වක්‍රව දූෂිතයන් ආරක්ෂා කරන අතර, ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාවගේ මතය බොඳකිරීම සඳහා දූෂිතයන්ට දඬුවම් දිය නොහැකි බවට මතයක් සමාජගත කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

එහෙත් දූෂණය නතර කර, දූෂිතයන්ට දඬුවම් දීම නියෝජනය කරන ජාතික ජන බලවේගයේ කඳවුරට එම කටයුත්ත ඉතා හොඳින් කළ හැකි බවද ජාතික ජන බලවේගයේ නායකයා පෙන්වාදුන්නේය.

හෙතෙම මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ(23) ‘දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා’ මැයෙන් ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ජාතික ජන බලවේගයේ නායකයා එහිදී මෙසේද පැවැසීය.

“නිස්සංක සේනාධිපතිගේ නඩුව ඉල්ලා අස්කර ගත් පසු, අල්ලස් කොමිසම ඇතුළට ගිහින් එය විමර්ශනය කළ නිලධාරීන්ට තර්ජනය කිරීමට තරම් ඔහු ගෝඩ්ෆාදර් කෙනෙක් වී තිබුණා. මේකයි තිබෙන තත්වය. ඒ වගේම අපි විතරක් නොවෙයි, එන්.පී.පී. එකත් දූෂිතයි කියලා බොඳ කරන්න මත නිර්මාණය කරමින් තිබෙනවා. විවිධ කාල වකවානුවලදී විවිධ පුද්ගලයන් කරළියට ඇවිත් මේ වැඩේ කරනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු එක් අවස්ථාවක මට එරෙහිව මලික් සමරවික්‍රමගේ ගෙදරින් සල්ලි මලු ගෙනා බව ප්‍රකාශ කළා. ඔහුට විරුද්ධව පමණක් නොවෙයි එය විකාශනය කළ දෙරණටත් විරුද්ධව මම නඩු දැම්මා. ඊළඟට මට අයර්ලන්තයේ ගෙයක් තිබෙන බවට දිවයින පත්තරයෙන් මුල් වටයේදී මතය ගොඩනැගුවා. ඊට විරුද්ධව පුවත්පත් මණ්ඩලයේ නඩු පැවරුවාම පළ කළ ලිපිය අසත්‍ය බව පිළිගනිමින් කනගාටුව පළ කිරීමේ ප්‍රකාශයක් දිවයින මුල් පිටුවේ දැම්මා. අපට එරෙහිව ගොඩනඟන අවලාදවලට ඔවුන්ගේ මාධ්‍ය ආයතන තුළදීම පිළිතුරු ලබාදුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම්වල රුපියල් කෝටි 800ක් තිබෙන බවත්, මාධ්‍ය හිමිකරුවා රුපියල් කෝටි 800ක ණයකරුවෙක් බවත්, කළ ප්‍රකාශයට පිළිතුරු දුන්නා. ඔවුන්ගේ දේශපාලනය අදූෂිත බව ඔවුන්ට කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය අදූෂිත බව කියන්න බැරි ඒ නායකයාම දූෂිත වී තිබෙනවා. මහින්ද රාජපක්ෂට එහෙම කියන්නත් බැහැ. ඒ නිසා ඔවුන් කියන්නේ ඔවුන් දූෂිතයන් වන අතර, එන්.පී.පී. එකත් දූෂිත බවයි.

ජොන්ස්ටන්ලා, දිලිත් ජයවීරලා, දිවයින පත්තරේ, තවදුරටත් මේ අවලාද ගෙනියන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අලුත් අය යොදාගන්නවා. නයා එක්ක සටනට ගැරඬියා, මුගටියන්ව කරේ තබාගෙන යන බව කතාවක් තිබෙනවා. මේ දවස්වල වෙලා තිබෙන්නෙත් ඒක. යුරෝපීය දූපතක් ගැන කියලා, ඊළඟට මෝල්ටාව ගැන කීවා. ඊළඟට වර්ජින් දූපත් ගැන ගැන කීවා. මෙතන තක්කඩිකමක් තිබෙන්නේ. රාජපක්ෂ කඳවුරෙන් හෝ, එක්සත් ජාතික පක්ෂයේ කඳවුරෙන් තවදුරටත් ඒ චෝදනා එල්ල කර, ඵලක් නැහැ. ඒ නිසා තක්කඩි වුවමනාවන් ඉටුකරන වෙනත් අය ඉන්නවා. ප්‍රසිද්ධියේ ඒ බව කිවූ අයට විරුද්ධව සති දෙකකින් පසු අනිවාර්යයෙන්ම නඩු දානවා. වක්‍රව කතා කියූ අයට පුළුවන් නඩුවේ චූදිතයන්ගේ සාක්ෂිකරුවන් ලෙස ඇවිත් ප්‍රකාශ සිදුකරන්න. ඔවුන්ගේ සාක්ෂිකරුවෝ නොවෙනවා නම්, ප්‍රසිද්ධියේ මහජනතාවට තමන් සතුව තිබෙන එක සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන්න ඕනෑ. එහෙමත් නැත්නම් කනගාටුව ප්‍රකාශ කළ හැකියි. ඔය තුනෙන් එකක්වත් නොකරන්නේ නම්, මෑත කාලයේ සිදුකළ ප්‍රබලතම දේශපාලන තක්කඩිකම මේක. දැන් කඳවුරු ධ්‍රැවීකරණයේදී ඔවුන් ගලාගෙන යන දිසාව පැහැදිලියි. අවම දේශපාලන හෘදය සාක්ෂියක් හෝ තිබෙනවා නම්, මේ ක්‍රියාමාර්ග තුනෙන් ඕනෑම එකක් සිදුකළ හැකියි.”