November 24, 2026

සාගර ජීව විද්‍යාව, සංරක්ෂණය සහ සාගරය පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීම වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් එක්සත් රාජධානියේ සාගර ජීව විද්‍යා සංගමයෙන් ගෞරවනීය “Fellow” පදවිය පිරිනමා තිබේ.

උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් ඇතුළු සාගර ක්ෂීරපායින් පිළිබඳව ඇය දශක ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණ මෙන්ම සාගර සංරක්ෂණය, අධ්‍යාපනය සහ විද්‍යා සන්නිවේදනය වෙනුවෙන් කළ කාර්යභාරය අගයමින් නොවැම්බර් 18 වැනිදා එම සංගමය විසින් මෙම ඇගයීම නිවේදනය කරන ලදී.

සාගර ජීව විද්‍යා සංගමයේ රාජකීය ප්‍රඥප්තියට අනුව, සාගර ජීව විද්‍යා ක්ෂේත්‍රයට සුවිශේෂී සහ බලපෑම් සහගත දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට මෙම ඇගයීම පිරිනැමේ.

ආචාර්ය ඩි වොස් ජාත්‍යන්තර කීර්තියට පත් සාගර ජීව විද්‍යාඥවරියක, සාගර අධ්‍යාපනඥවරියක, කතුවරියක මෙන්ම උතුරු ඉන්දියන් සාගරයේ දීර්ඝකාලීන නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණවල පුරෝගාමියකු ලෙස ද එම සංගමය විසින් හඳුන්වා දී ඇත.

තවද, ඇය ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය සහ දිය යට පර්යේෂකවරිය ලෙස ද පිළිගැනීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ වෙසෙන සාගර ක්ෂීරපායින් පිළිබඳ විද්‍යාත්මක අවබෝධය පුළුල් කිරීමට ඇයගේ පර්යේෂණ ඉවහල් වී ඇති අතර, මහජන දේශන, ග්‍රන්ථ, වාර්තා වැඩසටහන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ සාගර විද්‍යාව පුළුල් ලෙස ජනතාව වෙත සමීප කරවීමට ද ඇය සමත් වී ඇත.

ආචාර්ය ආශා ඩි වොස් විවිධ වයස් කාණ්ඩවල පාඨකයින් ඉලක්ක කර ගනිමින් සාගරය පිළිබඳ ග්‍රන්ථ තුනක් ද රචනා කර තිබේ.