February 21, 2024

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිගමනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව අධිකරණ ඇමැතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් පවතින ආකාරයෙන්ම සම්මත කරන්නේ නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි එය ප්‍රකාශයට පත් කරමින් නියෝජ්‍ය කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.