October 26, 2026

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ආනයනික කීරි සම්බා සහල් අලෙවි කරන ලද අම්පාර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කිරීමට අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද මෙම නඩුවේ විත්තිකරු වී ඇත්තේ අම්පාර, ඩී. එස්. සේනානායක වීදියේ පිහිටි ‘New City Super Market (Pvt) Ltd’ ආයතනයේ කළමනාකරුය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් පසුගිය ජූනි 15 වනදා සිදුකරන ලද වැටලීමකදී මෙම නීති උල්ලංඝනය අනාවරණය කරගෙන ඇත.

එහිදී, ආනයනික කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 255ක්ව තිබියදී, විමර්ශන නිලධාරියෙකු වෙත සහල් කිලෝග්‍රෑම් දෙකක් රුපියල් 560ක මුදලකට අලෙවි කර තිබේ. ඒ අනුව සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා නියමිත පාලන මිලට වඩා රුපියල් 25 බැගින් වැඩිපුර අයකර ඇත.

2025 ඔක්තෝබර් 21 දිනැති අංක 2459/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝග අංක 94 මඟින් ආනයනික කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 255ක් ලෙස නියම කර තිබිණි. මෙම නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සහ 2021 අංක 20 දරන සංශෝධන පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගෙන තිබේ.

අදාල මිලදී ගැනීමට අදාළ සහල් පාර්සලය, මුදල් සහ බිල්පත ඇතුළු නඩු භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ඔක්තෝබර් 22 වනදා මෙම දඩ මුදල නියම කර ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන පාලන මිල සුරැකීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක වන අතර, වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.