October 26, 2026

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා බිග් බෑෂ් ලීග් 2026 තරගාවලිය සඳහා විදේශීය ආදේශක ක්‍රීඩිකාවක ලෙස එක්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සුදුසුකම් ලබා තිබේ. ඇය මෙවර තරග වදින්නේ හෝබාට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙනි.

හෝබාට් හරිකේන්ස් කළමනාකාරීත්වය සඳහන් කරන්නේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ එංගලන්ත අන්තර්ජාතික ක්‍රීඩිකා ඩැනී වියාට් හොජ් වෙනුවට චමරි අතපත්තු කණ්ඩායමට කැඳවා ඇති බවයි.

අන්තර්ජාතික 20යි20 පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන 36 හැවිරිදි ශ්‍රී ලංකා නායිකාව, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරගයට පෙර, මෙලෙස වත්මන් ශූරතාවලියේ රඳවාගෙන සිටින හරිකේන්ස් පිලට එක්වීම විශාල ශක්තියකි.

චමරි අතපත්තු මීට පෙර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලි 7 කට සහභාගී වී ඇති අතර, එහිදී පර්ත් ස්කොචර්ස්, මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ සිඩ්නි තන්ඩර් යන කණ්ඩායම් නියෝජනය කරමින් තරග 69 කට ක්‍රීඩා කර තිබේ.

WBBL|09 තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ඇය, අර්ධ ශතක 5 ක් ද සමගින් සාමාන්‍යය 42.46 ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 552 ක් රැස්කර තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය දිනාගත්තාය. ඊට අමතරව එම තරගාවලියේදී කඩුලු 9 ක් දවාගනිමින් තම තුන් ඉරියව් දක්ෂතාව මැනවින් ප්‍රදර්ශනය කිරීමට ඇය සමත් වූවාය.

චමරිගේ පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් හෝබාට් හරිකේන්ස් උසස් දක්ෂතා අංශයේ ප්‍රධානී සාලියන් බීම්ස් සඳහන් කළේ, ඇය ලෝක ක්‍රිකට් පිටියේ සිටින වඩාත්ම අභියෝගාත්මක පිතිකාරිණියක් බවයි.

“චමරි වැනි ඉහළ ගුණාත්මක භාවයකින් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ ක්‍රීඩිකාවක කණ්ඩායමට එකතු කර ගැනීමට ලැබීම හෝබාට් හරිකේන්ස් කණ්ඩායම ලැබූ විශාල ජයග්‍රහණයක්,” යනුවෙන් බීම්ස් වැඩිදුරටත් පැවසුවාය.