October 26, 2026

නඩත්තු මුදල් හිඟයක් වන රුපියල් මිලියන 1.74ක් ගෙවීමට අපොහොසත් වීම නිසා මාස 29ක සිරදඬුවමක් නියම වී සිටි පුද්ගලයකුට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඔක්තෝබර් 23 වැනිදා තිදෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් ලබාදුන් තීන්දුවකට අනුව, 2024 සැප්තැම්බර් මාසයේ ලබාදුන් පොදු සමාව යටතේ මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාට හිමිවූ දඬුවම් ලිහිල් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාවයට සහ නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව තීන්දු කර ඇත.

විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර අති අතර, විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු සම්පත් කේ.බී. විජේරත්න යන දෙදෙනා ඊට එකඟවී ඇත.

නසීම් නමැත්තාට හිමිවූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් ගෙවාදැමීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණේ ඔහුගේ හිටපු බිරිඳ වන අහමඩ් ජලීල් ෆාර්මිල්ලා බෙගම් විසිනි.

කාසි අධිකරණය විසින් නිකුත් කරන ලද නඩත්තු නියෝගයකට අවනත නොවීම හේතුවෙන් 2024 ජූලි මාසයේදී නසීම් බන්ධනාගාරගත කර තිබේ. කෙසේවෙතත්, බන්ධනාගාර දිනය නිමිත්තෙන් ලබාදුන් පොදු සමාව යටතේ 2024 සැප්තැම්බර් 12 වැනි දින ඔහු නිදහස් කර තිබේ.

මේ හා සමාන නඩත්තු මුදල් හිඟයන් නිසා බන්ධනාගාරගත වූ තවත් සිරකරුවකුට ලැබි ඇත්තේ, සතියක දඬුවම් ලිහිල් කිරීමක් පමණක් වන අතර, නසීම්ගේ බන්ධනාගාරගත වීම දඩයක් නොගෙවීම නිසා සිදුවූවක් ලෙස සටහන් කර තිබීම හේතුවෙන් ඔහුට විශේෂ වරප්‍රසාදයක් හිමිවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනා ගෙන ඇත.

සිරකරුවන් දෙදෙනාගේ භාරදීමේ වරෙන්තුවල (commitment warrants) ඇති වචනවල වෙනස මෙවැනි අසමාන සැලකීමක් සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

නසීම්ට ලබාදුන් සමාව බලරහිත කළ අධිකරණය, ඔහුගේ මුල් සිරදඬුවමේ නීතිමය වලංගුභාවය නැවත ස්ථාපිත කර තිබේ.

වැදගත් නිරීක්ෂණයක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ, සිරදඬුවම තවදුරටත් වලංගුව පවතිද්දී නිදහස් කර ඇති නසීම්, මේ වන විට “නීතියෙන් සැඟවී සිටින තැනැත්තෙක්” (fugitive from justice) වන බවයි.

ඔහු වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බාර වීම සුදුසුම ක්‍රියාමාර්ගය බව තීන්දුවේ දැක්වේ.

මීට අමතරව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද මුල් වරෙන්තුව තවදුරටත් නීත්‍යානුකූලව වලංගු වන අතර, ඔහුව රඳවා තබාගැනීමට සහ දඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රමාණවත් බලයක් එයින් ලැබෙන බවද අධිකරණය තීන්දු කර ඇත.

කෙසේවෙතත්, අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට අවශ්‍ය පියවර ගැනීමට බලතල ඇති බැවින්, දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අතිරේක නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.

එමෙන්ම, නීත්‍යානුකූලව සහ සියලු අදාළ කරුණු සලකා බැලීමෙන් පසුව සිදුවන්නේ නම්, නසීම්ට නැවත නව සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට ඇති බාධාවක් නොමැති බවද තීන්දුවෙන් පැහැදිලි කර ඇත.

අංක 319/2024 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇත.