October 26, 2026

මෙරට බන්ධනාගාර ඒවායේ සැබෑ ධාරිතාව මෙන් තුන් ගුණයක සිට හතර ගුණය දක්වා ප්‍රමාණයකින් පිරී ඉතිරී ගොස් ඇති අතර, ඇතැම් රැඳවියන් අමානුෂික හා අවමන්සහගත තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසයි.

වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින අධික තදබදයට වහා විසඳුම් සෙවීම, පහසුකම් ඉහළ නැංවීම සහ රැඳවියන් සඳහා නීති ආධාර ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා වහාම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි.

සමස්ත ලංකා බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලය හා එක්ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ නීති ආධාර කඳවුරකට සහභාගී වීම සඳහා ඔහු මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය.

එහිදී බන්ධනාගාරයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රජීව් අමරසූරිය, කිසිදු වරදකට වරදකරුවන් නොවී සැකපිට පමණක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිස් මුහුණ දෙන තත්ත්වය වඩාත් කනගාටුදායක බව පැවසීය.

නැවත නැවත වැරදි කරන තැනැත්තන්ට සහ මූලික අවශ්‍යතා සපයා ගැනීමට නොහැකිව ලතැවෙන ඇතැම් පිරිස්වලට බන්ධනාගාරය කිසියම් ආරක්ෂිත ස්ථානයක් ලෙස හැඟිය හැකි වුවද, අනෙකුත් බොහෝ දෙනෙකුට එහි පවතින තත්ත්වය අමානුෂික සහ පහත් තත්ත්වයක් බව ඔහු නිරීක්ෂණය කළේය.

විෂ වර්ග, අන්තරායදායක ඖෂධ වර්ග පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සහ නිවාස අඩස්සියේ තැබීමේ පනත් කෙටුම්පත වැනි ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හරහා දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීමට අධිකරණ අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය. මෙවැනි පියවර මගින් අනවශ්‍ය ලෙස බන්ධනාගාරගත කිරීම් අවම කර අධික තදබදයට පිළියම් යෙදිය හැකි බව පෙන්වා දුන් ඔහු, ව්‍යවස්ථාපිත සංශෝධන පමණක් ඊට ප්‍රමාණවත් නොවන බවද අවධාරණය කළේය.

“ඉදිරි අයවැයෙන් බන්ධනාගාර යටිතල පහසුකම් කෙරෙහි වැඩි ප්‍රමුඛතාවක් දිය යුතුයි. නව බන්ධනාගාර ඉදිකිරීම, පවතින පහසුකම් වැඩිදියුණු කිරීම, සනීපාරක්ෂක හා සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම සහ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කිරීම ඊට ඇතුළත් විය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම පුද්ගල පෞද්ගලික නිදහස අභියෝගයට ලක්වන අවස්ථාවලදී, නීතිඥයන් ලබාගැනීමට මුදල් හිඟකම් ඇති පුද්ගලයන් වෙත නීති ආධාර ලබාදීමේ වැදගත්කම ද නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලයේ ඉල්ලීම පරිදි ආරම්භ කළ මෙම නීති ආධාර වැඩසටහන ඉදිරියටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

එමෙන්ම, රැඳවියන් සේම සිය දෛනික ජීවිතයේ වැඩි කාලයක් බන්ධනාගාර තාප්ප අතර ගෙවා දැමීමට සිදුවන බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන අභියෝගාත්මක සේවා පරිසරය පිළිබඳව ද ඔහු අවධානය යොමු කළේය.

සිය නිරීක්ෂණය අවසානයේ රජීව් අමරසූරිය අවධාරණය කළේ බන්ධනාගාරගත කිරීම මගින් කිසිවිටෙකත් පුද්ගලයෙකුගේ මානව ගරුත්වය අහිමි නොවිය යුතු බවයි.