October 26, 2026

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බව පවසමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනාට වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කර ඇතැයි ගල්ගමුව, හුණුගල්ලෑව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට නිලධාරීන් තමන්ට ද බලපෑම් කරන බව ප්‍රදේශවාසීහු ජනමාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (25 දා) කියාසිටියහ.

“මේ වනවිට කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නේ අවුරුදු 26ක් තිස්සේ අපි ඉතාම හොඳින් දන්නා හඳුනන දෙදෙනෙක්. මේ කාලය තුළ මේ අය සත්ත්ව ඝාතනවලට සම්බන්ධ වෙලා තියෙනවා තබා අඩුගාණේ මාළුවෙක් අල්ලන්න හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කිසිම ආරංචියක් නැහැ. මේ චෝදනා ඔප්පු කරන්න බැරිවීම නිසා විවිධ අය අල්ලස් දීලා මේ රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න දෙදෙනාට විරුද්ධව ඇතැමුන්ගෙන් ප්‍රකාශ ලබාගන්න උත්සාහ කරන බව අපිට ආරංචියි. මේ රිමාන්ඩ් වෙලා ඉන්න අයට නීතියෙන් සාධාරණය ඉටුවෙන්න ඕනෑ. ඒ වගේම සාධාරණ පරීක්ෂණයක් ඉටුවෙන්න ඕනෑ. දඬුවම දෙන්න ඕන අය වෙනුවට අසරණ පිරිසක් වනජීවී එකෙන් අරන් ගිහින් අත්අඩංගුවට අරගත් දෙදෙනාගෙන් එක් අයකුට අමානුෂික ලෙස පහරදීලා තියෙනවා.” යැයි ඔවුහු පැවැසුහ.