February 17, 2026

තණමල්විල ප්‍රදේශයේ ආහාර සොයමින් සැරිසැරූ වන අලියකු අඩි 30ක් පමණ ගැඹුරු පාළු ළිඳකට වැටී ගිලීමෙන් මිය ගොස් තිබේ.

අදාළ ළිඳ පටු වීම හේතුවෙන් අලියාට එහා මෙහා යෑමට හෝ හොඬවැල එසවීමට පවා නොහැකි වී ඇති බව වාර්තා විය.

මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණ ද ඒ වනවිටත් එම අලියා මියගොස් සිට ඇත.

දින කිහිපයක සිට වන අලියා එම ප්‍රදේශයේ සැරිසැරූ බව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

වනජීවී නිලධාරීන් පැවසුවේ වන අලියා අඩි හතක් පමණ උස සහ අවුරුදු 20ක් පමණ වන සතකු බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා උඩවලව අලි සංක්‍රමණ නිවාසයේ පශු වෛද්‍ය නිලධාරීවරයා ඊයේ එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබිණි.