October 19, 2026

කුවේටයේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත අද අලුයම ළඟා වූ Jazeera Airways ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවකු ප්‍රසූත කර ඇත.

ත්‍රිකුණාමලයේ පදිංචි 30 හැවිරිදි මෙම කාන්තාව, ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් සඳහා 2024 වසරේදී කුවේටය වෙත ගොස් තිබිණි.

ජනමාධ්‍ය වාර්තා අනුව අද අලුයම 2.52ට කුවේට් නගර ගුවන් තොටුපොළෙන් පිටත් වූ Jazeera Airwayහි J9-551 දරන ගුවන් යානයෙන් ගමන් කරමින් සිටියදී ඇයට ප්‍රසූත වේදනා ඇති වී තිබේ.

අනතුරුව ගුවන් සේවිකාවන්ගේ සහය ඇතිව ඇය ගුවන් යානය තුළදීම කිසිදු සංකූලතාවකින් තොරව පිරිමි දරුවකු ප්‍රසූත කර ඇත.

දරුවකු බිහි කිරීමට ආසන්න කාන්තාවන් සඳහා සාමාන්‍යයෙන් ගුවන් ගමන් සීමා පවතින බැවින්, ඇය තදින් ඇඟට හිර වන ඩෙනිම් කලිසමක් ඇඳ සිටීමෙන් ගුවන් ‍යානයේ නිලධාරීන්ගෙන් තමන් ගර්භණී කාන්තාවක් බව සඟවාගෙන සිට ඇති බවද වාර්තා වේ.

අදාළ කාන්තාව දරුවා බිහි කිරීමෙන් පසු ගුවන් නියමුවා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ බලධාරීන්ට මේ බව දැනුම් දී ඇති අතර, ගුවන් යානය ගොඩබෑමෙන් පසු හදිසි වෛද්‍ය ආධාර සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබිණි.

වෛද්‍යවරුන්, හෙදියන් සහ ගිලන්රථ කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ගුවන් යානය අසල රඳවා සිටි අතර යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව ඔවුන් මව සහ අලුත උපන් දරුවා පරීක්ෂාවට ලක් කර තිබේ.

අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මව සහ දරුවා මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.